Saturday, December 1, 2018

ජීවිතය විඳින්නට...

"ගිම්හානයේ ගිලන් වී කෘෂව සුදුමැලිව
ඇදි ඇදී ඉකිගැසූ ඔය නැවත පිරිපුන් ය
දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය
කටු  පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස"
                                                                  -රත්න ශ්‍රී විජේසිංහ-වස්සානය-

"වස්සානේ" ... ඇරඹුම "වස්සානයෙන්ම" ගන්න හිතුණා.ජීවිතය ඉදිරියේ කවියෙක් වෙන්න...කියන තරම්,හිතන තරම් පහසු නැහැ තමයි..ඒත් ඒක ඒ තරමටම අපහසු වේවිද? අපි බලමු.උත්සහ කරමු.ජීවිතයට දුක සතුට එක එක විදියට ලැබෙනවා.අමාරුම අවස්ථා  කොයි තරම් ආවද? තව කොයි තරමක් ඒවිද? ඉතින්, "දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය?"....
                                 ජීවිතය ඛේදවාචකයක් වෙන්නේ,අපායක් වගේ වෙන්නේ, අපි ජීවිතේට මුහුණ දෙන විදිය අනුව නේද? අපි කරන්නෙ, පායද්දි අව්වට බනිනවා.වහිද්දි වැස්සට බනිනවා...මට, ඔයාට වැඩිපුරම වරදින්නේ ඒකයි නේ? එහෙම නෙවෙයි, අපි ඉගෙන ගමු පායන කොට  ඒ දැනෙන  අව් රස්නයයි, වහින කොට ඒ දැනෙන සීතලයි විඳින්න..අව්ව වැස්ස කියන්නෙ සොබා දහමෙ නියතයක්.ඒ වගේ තමයි ජීවිතයට එන දුක සතුට දෙකත්... මහගම සේකරයන් "ධීවර ගීතයෙ"දි කියනවා,

"ජීවිතයත් මූද වගෙයි
ඉමක් නැතෙයි කොනක් නැතෙයි
යනවා ආපහු එනවා.යනවා ආපහු එනවා
කරදර දුක් ගැහැට මැදින්
කඳුළු මැදින් සුසුම් මැදින්
සෑමදාම එක වගේ ඇදෙනවා"

කියලා.ඇත්තනෙ, කොයි මොහාතක මොකක් හින්ද දුක ඒවිද සතුට ඒවිද කියන්න බැහැ.ඒත් ඒ මොන දේ උනත්,ඒවාට අවංකව අව්‍යාජව මුහුණ දෙන්න පුළුවන් නම් ඉතින් තවත් නම් එපා වෙන එකක් නෑ මේ ජීවිතය..ආසා හිතෙනවා මිසක් ජීවත් වෙන්න...
                                                                       
 අපිට අපේ හදවතට, දුක් විඳින්න බැහැ කියන්නෙ ඒ හිතට ජීවිතේ කිසිම දෙයක් රස විඳින්නත් බැහැ කියන එකමනේ...එහෙම කෙනෙක්ට ජීවිතේ සැබෑ රස විඳින්නත් බැහැ..එහෙම අයට තමයි ඉතින් ජීවිතේ හරි ඉක්මණට අපායක් වෙන්නේ.නිකන් නිරපරාදෙ ජීවිත අකාලයේ නැති කරගන්නේ.. දුක් වේදනා විඳලා ඒවගෙ තිත්ත රස හොඳට අත් විඳලා තියෙන අය තමයි ජීවිතේ සැබෑ රස විඳින අය...
                                               
"ආ ගමන හරි දුෂ්කරයි
අප විටෙක ඇද වැටුණා සැබැයි
එහෙත් නතරව එතැන
වැලපිය යුතු නොවෙයි-අප යා යුතුයි " 
                                          රත්න ශ්‍රී සර්ගෙ "සමුගැනීම" පැදිවලින් ගත්තත් මේ ලස්සන වචන ටික මෙතනට ගළපන්නම මට හිතෙනවා.මොකද, අපිට ජීවිතේ එක එක අවස්ථා එනවා පිහිටක් ඉල්ලන්න ළඟ අහල පහලකවත් කව්රුවත්ම නැති වෙන.කට්ට කළුවරේ තට්ට තනියම කණාමැදිරි එළියක්වත් නැතිව ගමනක් යන්න වෙන අමාවකක් අපි ගොඩ දෙනෙකුට එනවා,මේ වෙද්දිත් ඇවිත් ඇති.ඒත් එහෙමයි කියලා අපි ඒ දුෂ්කර ගමන නොගිහින් ඉන්නවද? නෑ...අපි ඒ ගමන යන්නම වෙනවා.ඒ අපේ ඉවෙන්...ඔව්... අපිටත් තියෙයි ඒ ඉව,සත්තුන්ටත් වඩා.හැබැයි ඒ ඉව සත්තුන්ට වගේ නිකම්ම එන්නැහැ..ඒ වගේම හැවෝටමත් නැහැ, අර කලින් කීවා වගේ ජීවිතේ විඳින්න පුළුවන් අයට ඒ ජීවන ඉව ඉබේම ලැබෙනවා.ඒ නිසයි අපේ හදවත අවංක හදවතක් කරගමු කියලා කීවේ.

ජීවිතය විඳින්න ගොඩක් දේ උවමනා නැහැ.ජීවිතේ වෙනුවෙන් අපි තියන එක පුංචි පියවරකිනුත් අපිට ජීවිතේ විඳින්න පුළුවන්..ඒත් අපි මතක තියා ගත යුතුම දේ වෙන්නෙ ඒ අප තබන පුංචි පියවර අස්සෙ ගොඩාක් ලොකු ගොඩාක් ශක්තිමත් ආත්ම විශ්වාසයක් තිබිය යුතුමයි. 
                                            දන්නවද? හොඳ ආත්ම විශ්වාසයක් තියෙන කෙනෙක් කවදාවත් ම බාල්දු වෙන්නේ නැහැ.හැමදාම වැටෙන්නෙත් නැහැ.එයා හරි ලස්සනට ජීවිතේ දිනනවා.මොන බාධකය ආවත් එයා ඉස්සරහට යන එක නතර කරන්නෙත් නැහැ.

"බලා කතරේ අතර මං වී
විනාශය වෙත මුහුණ පෑ අය
වෙහෙස නොබලා- යොදා මුළු වැර
කතර මැද මම කැණූයෙමි ළිඳ
පිපාසාවෙන් පෙළුණු සතහට
බොනුව රිසි සේ - මෙතෙක් දවසක් 
පයට යටවී පැවති උල්පත
සොයා ගත්තෙමි බිඳැර දැඩි ගල

ඉතින් දිය ඇත
ඉතින් දුක නැත
කාන්තාරය සාරවත් විය
නඟා පැන් බී දුකක් නොමැතිව
ඉතින් කතරින් එතෙර වියැකිය"
                                            (කාන්තාරය - මහගම සේකර)